"මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂීත්වයට පත් ව ඇත්තේ එහිලා නිරූපිත සංස්කෘතික ගැටුම නිසාවෙනි

      මළඟිය ඇත්තෝ නවකතාවෙහි අන්තර්ත වන්නේ දෙවෙන්දොරා සං නැමැති ලාංකීය චිත්‍ර ශිල්පියා ජපානයට ගොස් නොරිකො සං නැමැති ජපන් යුවතිය සමඟ පෙමින් වෙලී ගොඩ නැඟෙන ප්‍රේම වෘත්තාන්තයයි.දෙවොන්දොරා සංගේ ආදරයට බඳුන් වන නොරිකො සං ජපාන සංස්කෘතියෙහි කැඩපතකි.දෙවෙන්දොරා සං විටෙක ඇයව දකින්නේ ජපාන සමාජයේ සිතුම් පැතුම් නැමැති නූල් පොටවලින් ගෙතුණු ගෙත්තමක් ලෙසයි.එබැවින් මළඟිය ඇත්තෝ නවකතාවේ අන්තර්ගත ප්‍රේම වෘතාන්තය සුවිශේෂත්වයට පත්ව ඇත්තේ ඔවුන් දෙදෙනා අතර ගොඩනැඟෙන සංස්කෘතික ගැටුම  නිසාවෙනි.

                      කන බොන ආහාර පාන යනු කිසියම් සංස්කෘතියක අනන්‍යතාව විදහා දැක්වෙන වැදගත් සාධකයකි.මළඟිය ඇත්තෝ නවකතාව ආරම්භයේදීම දෙවෙන්දොරා සං නොරිකො සං අතර ආහාර පාන සම්බන්ධයෙන් ඇති විෂම ලක්ෂණ මැනවින් පිළිබිඹු කෙරේ.දෙවෙන්දොරා සං නොරිකොටත් පවුලේ අයටත් තම නවාතැනට ආරාධනා කර සිංහල ක්‍රමයට කුකුළු මස් කරියක් පිළියෙල කොට පිළිගන්වයි.එහෙත් දෙවෙන්දොරා සං කොතරම් ආශාවෙන් සහ උනන්දුවෙන් එය පිළියල කළත් නොරිකො සං හට එය රස විඳීමට නොහැකි වේ.

"මා ඉතා ඕනෑකමින් කෑම පිසූ නමුත් ස්වල්පයක්වත් කෑවේ හිදජි පමණි.නොරිකො නම් යන්තම් කට ගෑවා විතරයි. ඇගේ දෑසේ කඳුළු පිරුණි.ඈ වහා වතුර බී මා ගෙනවිත් තබා තිබූ රාබු අච්චාරු සමඟ නිකන් බත් කෑවාය."          

දෙවෙන්දොරා සං ජපන් ආහාර වර්ගවල විවිධ රස භුක්ති විඳීමට දැක් වූ සෞන්දර්යාත්මක ආශාව හේතූ කොටගෙන ආහාරපාන නිසා ජනිත වීමට ඉඩ ඇති සංස්කෘතික පරතරය වැළකී තිබුණි.

        අදහස් සන්නිවේදනය කිරීමට ඉවහල් කර ගන්නා භාෂාව වූ කලි අනෙක් සුවිශේෂතම සංස්කෘතික අනන්‍යතාවයි.දෙවෙන්දොරා සංට ජපන් භාෂාව මදක් ව්‍යවහාර කළ හැකි වුවද ජපන් ජාතිකයෙකුට මෙන් එම භාෂාව පරිහරණය කළ නොහැකිය.ඔකතා සං පිළිබඳ සිදුවීමේ දී දෙවෙන්දොරා සං තුළ නොයෙක් සැක සංකා මතු වන්නේත් තමා නොරිකොගෙන් කොතරම් දුරස්ථත ද යන්න අවබෝධ වන්නේත් භාෂාව නිසා ඔවුන් අතර ඇතිවන සංස්කෘතික පරතරය හේතුවෙනි.

"මම විදේශකයෙක් වෙමි.ඔහු ස්වජාතිය කෙනෙකි.ඈ මගේ සමාගම ප්‍රිය කළ ද ඇගේ ජීවිතයට මට සම්පූර්ණයෙන් පිවුසිය නොහැකිය.අපෙන් එකෙකුගේ ගැඹුරුම හැඟුම් අනෙකාට පැවසීමට අපට පුළුවන්කමක් නැත."

       දෙවෙන්දොරා සං සහ නොරිකො සං අතර ගොඩ නැඟෙන ආදර සම්බන්ධය විවාහයෙන් කෙළවර වීම්ට නියමිත ආදර සම්බන්ධයක් නොවේ.ජපාන සංස්කෘතියෙහි කැඩපතක් වන නොරිකො හට ශ්‍රී ලාංකිකයෙකු වන දෙවෙන්දොරා සං සමඟ විවාහයකට එළඹීම පහසු කරුණක් නොවේ.එහෙත් සාම්ප්‍රදායික ජපන් යුවතියක් විදේශිකයෙකු සමඟ මෙසේ පෙමින් වෙලී සැරිසැරීම සංස්කෘතික සමාජය නුරුස්සයි.එවිට නොරිකො සං හට සමාජයේ නොයෙක් අවලාද , නින්දා ,ගැරහුම් ආදියට මුහුණ දීමට සිදුවෙනු නොඅනුමානය.මේ නිසා දෙවෙන්දොරා සං හට විටෙක නිරීක්ෂණය කළ හැකි වන්නේ ඇගේ නිදහස් චර්යාවන් නොවේ.

 "වරෙක ඈ මා නොහඳුන්නා සේ මා ඉදිරියෙන් ගමන් කරයි.එවිට මම ඇය පසු පස්සේ යමි.මා හඬ නගා කතා කරන විට හීන්සැරෙන් දොඩන මෙන් ඈ මට කියයි.මංසන්ධියකින් එගොඩවන විට මා ඇගේ අත අල්ලන්ට තැත් කරහොත් ඈ වහා මගේ අත පසෙකට තල්ලු කරයි."

       දෙවෙන්දොරා සං සහ නොරිකො සං අතර ඇති සංස්කෘතික ගැටුම වඩාත් තීව්‍රර වන අවස්ථාවක් ලෙස දෙවෙන්දොරා සං නොරිකො සං හට සකුරා මල් බැලීමට යාම සඳහා ආරාධනා කළ අවස්ථාව හඳුන්වා දිය හැකිය.නොරිකො සං සිතාමතාම ඒ ගමන මග හරින්නේ දෙවෙන්දොරා සං සමඟ එහෙ මෙහෙ යාමට ඇති අකමැත්ත නිසා නොව එමඟින් සමාජයෙන් තමාට එල්ල වන අපවාදවලට ඇති බිය නිසයි.විදේශිකයෙකු සමඟ මෙසේ සැරිසැරීමෙන් ඇගේ අනාගතයට කිසිදු සෙතක් වන්නේ නැත.දෙවෙන්දොරා සං නොදැන සිටියද මේවන විටත් නොරිකො එබඳු අපවාදවලට නොයෙක් වර මුහුණ දී ඇත.

 "මම ජපන් ගෑනියෙක් අපි එහෙ මෙහෙ යනකොට මිනිස්සු මා ගැන නරක දේ හිතනවා.මිනිස්සු දන්නේ නෑනේ අපි ගැන"

       ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගෙන මේ සංස්කෘතික ගැටුම හේතූ කොටගෙන තමා සමඟ පවත්වන ඇසුරෙන් ඇගේ අනාගතයට කිසිදු සෙතක් අත් නොවෙතැයි සිතන දෙවෙන්දොරා සං ඇගෙන් දුරස් වී තෝකියෝ අතහැර කියෝතෝව බලා යෑමට තීරණය කරයි. නොරිකො සං

 "යන්න එපා දෙවෙන්දොරා සං"

     යනුවෙන් බෑගපත්ව ආයාචනා කරද්දී දෙවෙන්දොරා සං ඊට පවසන පිළිවදන් තුළ ගැබ්ව ඇත්තේ ඔවුන් අතර ඇති සංස්කෘතික ගැටුමයි.එය ඉතා අනුවේදනීය අයුරින් ඉදිරිපත් කර තිබේ.

"කොහොමද නොගිහින් මං ඉඳලා ඵලක් නැහැනේ තව කොච්චර කල් මෙහෙම තියෙයි ද අපට හැමදාම බෑනේ මේ විදිහට කවදා හරි වෙන් වෙන්න වෙනවා.දැන් වෙන්වෙන එක ලේසි නැද්ද?"

      ඔවුන් දෙදෙනා අතර ගොඩනැඟෙන සංස්කෘතික ගැටුම හේතූවෙන් ඔහුගේ ඇසුරෙන් ඇගේ අනාගතයට කිසිදු සෙතක් අත් නොවේතැයි සිතන දෙවෙන්දොරා සං තෝකියෝව අතහැර කියෝතෝව බලා ගමන් කරයි.ඇගේ මතකයෙන් දුරස් වන්නට සිතා මෙසේ කළ ද ඇගේ මතකයෙන් ගැලවී යාමට ඔහුට හැකියාවක් නැත.යලිත් දෙවෙන්දොරා සං ඇගේ ඇසුර පතා තෝකියෝවට පැමිණේ.එහෙත් නොරිකො සං ද තෝකියෝව ද වෙනස් වී තිබෙනු ඔහු දකී.නොරිකො සංට අවශ්‍යව ඇත්තේ විවාහයෙන් තම ජීවිතය වාසනාවන්ත කර ගැනීමටයි.එහෙත් දෙවෙන්දොරා සංට ඇය ජීවත් වන සංස්කෘතික සමාජයෙන් ඇය උගුලුවා ගත නොහැකිය.එසේ උගුලුවා ගතහොත් ඇය තවදුරටත් නොරිකො සං බවට පත් නොවන්නීය.එබැවින් දෙවෙන්දොරා සං මෙම සංස්කෘතික ගැටුම මෙලෙස ද දකි.

"ඇගේ චරිතය ගොතා ඇත්තේ මේ සමාජයේ සිතුම් නැමැති නූල්පටවලිනි.ඒවා කපා හැරියොත් ගෙත්තම නොලහීද?"

       නොරිකො සං යලිත් දෙවෙන්දොරා සං වෙතට හැරී ඔවුන්ගේ අනාගතය පිළිබඳ කිසියම් තීරණයක් ගැනීමට උත්සාහා දරණ විට ඇය පිළිසරණ පතන්නේ ඇගේ අක්කා වන මොමොකො සංගෙනි.වඩාත් ප්‍රායෝගික චරිතයක් වන මොමොකො සං පවසන වදන් ඉස්මතු කර පෙන්වන්නේ ඔවුන් දෙදෙනා අතර ඇති සංස්කෘතික ගැටුමයි.

  "කල්පනා කරන්න තියෙන්නේ නොරිකොට පුළුවන් වෙයිද කියලා දෙවෙන්දොරා සංගේ වැඩපළ බලාගන්න නන්නාදුන මිනිස්සු අතරේ නොරිකොට පුළුවන් ද කියලා දෙවෙන්දොරා සංගේ අත් උදව්වට හිටින්න.එයාට රට හුරු නෑ කෑම බීම පුරුදු නෑ ,කතාබහ තේරෙන්නෙ නෑ."

      යතෝක්ත කරුණු අනුව සලකා බලන විට තහවුරු වන්නේ මළඟිය ඇත්තෝ නවකතාවේ අන්තර්ගත ප්‍රේම වෘත්තාන්තය සුවිශේෂත්වයට පත්ව ඇත්තේ ඔවුන් අතර ඇති සංස්කෘතික ගැටුම නිසා බවයි.



Comments

Post a Comment

Popular posts from this blog

කවිකාර සිත

මළගිය ඇත්තෝ